"USB Port" එක ගැන නොදත් කරුණු

"USB Port"





අද වනවිට ඔබ එදිනෙදා ජීවිතයේදී ඔබේ පරිගණකය සමග විවිධ උපකරණ සම්බන්ධ කිරීමට වැඩි වශයෙන්ම යොදාගන්නා සම්බන්ධකය (connector) USB වී හමාරය. බොහෝ විට මේ අතරින් USB flash drive (Pen Drive) උපකරණය විශේෂ තැනක් හිමිකරගනී. මීට අමතරව ඔබේ Smartphone එක, Tablet PC, WebCam, Portable Hard Drive වැනි විව්ධ උපකරණ පරිගණකයත් සමග සම්බන්ධ කරගැනීමට USB port එක ඔබට උපකාරී වේ.
 නමුත් 21 වන සියවසේ ජීවත් වන අපට මෙතරම් ම සමීප මෙම USB නම් වූ අද්විතීය තාක්ෂණයට 1990 දශකය තරම් දුරකට දිවෙන අතීතයක් හිමි බව ඔබ දන්නවාද?

USB හි ආරම්භය, සංවර්ධනය, ක්‍රියාකාරීත්වය සහ අද වන විට ගොඩනගාගෙන ඇති විශිෂ්ඨ ප්‍රතිරූපය පිළිබඳව මදක් අවධානය යොමු කර බලමු.


USB යනු

USB යන්නෙන් Universal Serial Bus (සාර්වත්‍ර අනුක්‍රම නියමග) යන්න අර්ථවත් වේ. 1990 දශකය මැද භාගයේදී USB නමින් සම්මතයක් නිපදවීමේ ප්‍රධාන අරමුන වූයේ  එවකට පරිගනක අතර දත්ත සන්නිවේදනයට යොදාගත් විවිධ වූ රැහැන් වර්ග (cables), සම්බන්ධක (connectors) සහ සන්නිවේදන නියමාවලීන් (communication protocols) වෙනුවට එක් සම්මත අතුරුමුහුනතක් (interface) නිර්මාණය කිරීමයි.

මෙම අරමුණ ඉතාමත් සාර්ථක තත්වයට පත් වෙමින් අද වනවිට පරිගනක යතුරු පුවරු (keyboards), මවුස (mouses), සංඛ්‍යාංක කැමරා (digital cameras), මුද්‍රණ යන්ත්‍ර (printers), ජංගම උපාංග (mobile devices), අතේ ගෙන යාහැකි දත්ත ගබඩා කරන උපාංග (portable storage devices), සහ ජාල කරන උපාංග (network adapters) වැනි විවිධ උපකරන රාශියක් USB මගින් ප්‍රමිති කරණයකට (standardize) ලක්වී ඇත.  මීට අමතරව අද වනවිට මෙම USB සම්බන්ධතාවය Xbox, PlayStation වැනි විවිධ video game console උපකරණ අතරද ඉතාමත් ප්‍රචලිත වී ඇත.

දත්ත සන්නිවේදනය මෙන්ම අදාල උපකරණය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බල සැපයුම (power supply)  ද USB සම්බන්ධතාවය ඔස්සේ ම ලබා දියහැකි වීම මෙහි ඇති තවත් එක් විශේෂ ලක්ෂණයකි. මේ නිසා අතීතයේ විවිධ උපකරණ පරිගනකය වෙත් සම්බන්ධ කිරීමට භාවිතා වූ serial , parallel වැනි port පමණක් නොව බාහිර බල සැපයුම් කෙවෙනි (separate power chargers) පවා USB මගින් ඉතා සාර්ථකව ප්‍රතිස්ථාපනය වී ඇත.



සම්මත USB සලකුණ (logo)


එදා සිට අද දක්වා සිදුවී ඇති තාක්ෂණික සංවර්ධනය

1994 වසරේදී Compaq, DEC, IBM, Intel, Microsoft, NEC සහ Nortel යන සමාගම් එක්ව USB නම්වූ මෙම අද්විතීය නිර්මාණයේ සැලසුම සකස් කරන ලද අතර ඔවුන්ගේ අරමුණ වූයේ පරිගනකය වෙත බාහිර උපාංග සම්බන්ධ කිරීමේ ඉතාමත් පහසු සම්බන්ධකයක් නිර්මාණය කිරීමයි. එවක පරිගනක වල පිටුපස තිබූ විවිධ වර්ණයන් සහ හැඩයන්ගෙන් යුතු විශාල port සංඛ්‍යාව වෙනුවට ඉතා පහසු සහ සරළ මෘදුකාංග ආකෘතියක් (software structure) ඇති වේගවත් දෘඩාංග අතුරුමුහුනතක් නිර්මාණය කිරීමට ඔවුන් සතුව තිබූ අභිප්‍රාය සාර්ථකත්වයට පත් කරමින් 1995 USB 1.0 තාක්ෂණය ලොවට හඳුන්වාදෙන ලදි.

මෙම USB 1.0 හි වැඩි දියුනු කල සංස්කරණයක් ලෙස 1996 හඳුන්වාදුන් USB 1.1 පරම්පරාවේ සම්බන්ධක ඔස්සේ 1.5Mbps සිට 12Mbps දක්වා (සම්පූර්ණ කළාප පළල භාවිතා කල විට/ Full-Bandwidth) වේග වලින් දත්ත සම්ප්‍රේශණය සිදු කලහැකි වූ අතර 1.5Mbps වේගය අඩු දත්ත සම්ප්‍රේශණ සීග්‍රතාවයක් ඇති Joystick වැනි උපාංග සඳහා යොදාගත් අතර 12Mbps වේගය වැඩි දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිත දෘඩ තැටි (Disk drives) වැනි උපාංග සඳහා භාවිතා විය. නමුත් මෙහිදී දිගු කරනලද රැහැන් (extention cables) භාවිතා කල නොහැකි වූයේ එවකට තාක්ෂණයේ පැවති යම් දුර්වලතාවයන් නිසාය.


USB 2.0

2000 වසරේ අප්‍රේල් මස හඳුන්වාදෙන ලද USB 2.0 තාක්ෂණය තුල පෙර පැවති 1.1 තාක්ෂණයේ වූ දෝෂ රැසක් නිරාකරණය කර තිබුණු අතර උපරිම දත්ත සන්නිවේදන වේගය 480Mbps දක්වා ඉහල නංවා තිබීම දැකගතහැකි වූ සුවිශේෂී ලක්ෂණයකි. Low-speed, High-speed සහ Full-speed ලෙස දත්ත සම්ප්‍රේශණ වේග කළාප (bandwidth) තුනක් හඳුන්වාදී තිබූ අතර ප්‍රායෝගිකව High-speed කළාපය ඔස්සේ 35MBps (Megabytes per second) පමණ වේගයක් ලබාගත හැකි විය.

මෙම USB 2.0 කෙවෙනි සහ සම්බන්ධක සම්මතයක් ලෙස “කළු” වර්ණයෙන් වර්ණගන්වා තිබේ.


සම්මත USB 2.0 සම්බන්ධකයක්


පෙරලිකාර USB 3.0

2008 වසරේ නොවැම්බර් මාසයේ ලොවට හඳුන්වාදුන් USB 3.0 තාක්ෂණය ඉහත සඳහන් කල 2.0 හි තිබූ Low-speed, High-speed, Full-speed යන සම්ප්‍රේශණ වේග වලට අමතරව “SuperSpeed” නමින් සම්මතයක් හඳූන්වා දෙනු ලැබීය. මෙහිදී 5Gbps උපරිමයක් දක්වා වූ සෘජු දත්ත සම්ප්‍රේශණ වේගයක් (raw data rate) ලබාගතහැකි අතර SuperSpeed සබඳතාවයක් ඔස්සේ full-duplex ක්‍රමයට වුවද දත්ත සම්ප්‍රේශණය සිදුකලහැකි වේ.


USB 2.0 තුල දත්ත සන්නිවේදනය සිදු කරනු ලැබුවේ half-duplex (අර්ධ-ද්වීපථ) ක්‍රමයට වන අතර එහිදී එක් ග්‍රාහක අග්‍රයක් පමණක් එක් වරකට දත්ත සන්නිවේදනය සිදු කරනු ලබයි. අනෙක් අග්‍රය දත්ත සන්නිවේදනය කරන්නේ එම මුල් සන්නිවේදනය අවසන් වූ පසුවය. මෙය තරමක් මන්දගාමී ක්‍රමවේදයක් වන අතර full-duplex (පූර්ණ-ද්වීපථ) ක්‍රමය යටතේ ග්‍රාහක අග්‍ර දෙකටම එකවර බාධාවකින් තොරව දත්ත සන්නිවේදනය කලහැක. මෙය වඩා වේගවත් වේ.


USB 3.0 කෙවෙනි සහ සම්බන්ධක සම්මතයක් ලෙස “ලා නිල්” වර්ණයෙන් වර්නගන්වා තිබේ.
USB 3.0 කෙවෙනි (port)
 
USB 3.0 සම්බන්ධකයක් (connector)




USB 3.1

2013 ජූලි මස 31 වන දින හඳුන්වාදුන් නවතම USB 3.1 තාක්ෂණය මගින් USB 3.0 හි දත්ත සම්ප්‍රේශණ වේගය මෙන් දෙගුනයක්, එනම් 10Gbps උපරිමයක් දක්වා වේගයකින් දත්ත සම්ප්‍රේශණය සිදු කලහැකි අතර “SuperSpeed plus” ලෙස හඳුන්වාදෙන මෙම නව සම්බන්ඳතාවය ඔස්සේ 10W ක්ෂමතාවයකින් යුත් 2A විදුලි ධාරාවක බල සැපයුමක් ද ලබාදීමේ පහසුකම ඇත.





විවිධ USB සම්බන්ධක අතුරුමුහුනත්

එදිනෙදා පරිගනක ආශ්‍රිත කටයුතු වලදී විවිධ හැඩයන්ගෙන් යුත් USB සම්බන්ධකයක අතුරුමුහුනත් කිහිපයකින් හඳුනාගතහැකි අතර එම විවිධ සම්මත අතුරුමුහුනත් වල හැඩයන් අනුව ඒවා පහත පරිදි නම් කර ඇත.


මේවා අතරින් Type A අතුරුමුහුනත පරිගනක සහ ඒ ආශ්‍රිත උපාංග සඳහා බහුලව භාවිතා කරයි. ඔබේ පරිගනකයේ ඉදිරිපස ඇති USB සම්බන්ධක සහ Pen Drive, USB keyboard වැනි උපාංග වල භාවිතා වන්නේ මෙම සම්බන්ධක වර්ගය වේ. මෙය සම්මත USB සම්බන්ධකය (standard USB connector) ලෙසද හඳුන්වනු ලබයි.

A වර්ගයේ සම්බන්ධයකක් (Type A connector)


Type B වර්ගයේ සම්බන්ධක printer වැනි පරිගනකයට බාහිරින් සම්බන්ධ වන උපකරණ සඳහා භාවිතා කරන අතර Type A සහ Type B සම්බන්ධක දෙකෙහි ක්‍රියාකාරිත්වය එක සමාන වන අතර හැඩය පමණක් වෙනස් ස්වභාවයක් ගනී.

B වර්ගයේ සම්බන්ධකයක් (Type B connector)


Mini-A සහ Mini-B නිතර භාවිතා නොවුනත් ජංගම උපාංග සඳහා භාවිතා කරනු ලබන අතර Micro-A සහ Micro-B සම්බන්ධක දැනට පවතින බොහොමයක් Tablet PC, ජංගම දුරකතන වැනි උපකරන සඳහා ඉතාමත් බහුලව භාවිතා කරනු ලබයි.


Mini A සහ Mini B


Micro A සම්බන්ධකයක්

Micro B සම්බන්ධකයක්


USB රැහැනක අභ්‍යන්තරය

සම්මත USB සම්බන්ධක රැහැනක් අභ්‍යන්තරයෙහි පහත රූප සටහනේ පරිදි සම්මත වර්ණ වලින් යුත් කුඩා රැහැන් 4ක් දැකගතහැකි වේ




  • මෙම රැහැන් අතරින් රතු පැහැති රැහැන 5V බල සැපයුම් ධාරාවක් රැගෙන යයි.
  • සුදු පැහැයෙන් වර්ණගන්වා ඇත්තේ දත්ත සම්ප්‍රේශනයේ + අග්‍රයයි.
  • කොළ පැහැයෙන් දත්ත සම්ප්‍රේශන - අග්‍රය නිරූපණය කරනු ලබන අතර,
  • කළු වර්ණයෙන් වර්ණගන්වා ඇත්තේ භූගත අග්‍රයට සම්බන්ධ රැහැන වේ.
  • මෙම රැහැන් වලට පිටතින් ලෝක කම්බි වියමනක් ලෙස ආවරණයක් ඇති අතර එය USB උපාංගය සමග කිසිදු සම්බන්ධතාවයක් නොදක්වයි. මෙම ආවාරණය ඇත්තේ රැහැන් වලට සිදුවන භෞතිකව සහ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර නිසා ඇතිවන හානි අවම කිරීමටය.



දිනපතා ඔබ භාවිතා කලත් හරිහැටි තොරතුරු නොදැන සිටි USB port එක සම්බන්ධයෙන් ඔබේ දැනුමට යමක් එකතු වන්නට ඇති නේද?

ඔබ අළුතින් Desktop පරිගනකයක් හෝ Laptop එකක් මිලදී 
ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම් එහි USB 3.0 තාක්ෂණය ඇත්දැයි පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා!


එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon